Total Pageviews

Friday, 30 October 2015

එයත් ප්‍රේමයක් විය නොහැකිද...




එයත් ප්‍රේමයක් විය හැකියි
පිළිගත්තත් නැතත්...

මලකට තහනම්ද
හාදුවක් දෙන්නට
වෙනත් මලකට
මල් පොහොට්ටු තිබුනත්
පූදින්ට බලාගෙන....
මල් හිමියෙක් ඇතත්
අයිතිය කියාගෙන....
කොයිම වෙලාවක වුව 
පුපුරන්ට සිතාගෙන...
හද ගැබ පුරවගෙන
ආලය හොවා ගෙන...

එයත් ප්‍රේමයක් විය නොහැකිද
පිළිගත්තත් නැතත්...




Sunday, 25 October 2015

මම...




නුඹ 
ඉරක්...
මම
නුඹේ එළියෙන් දිලෙන
සඳක්.....

හදවත නතර කොට....



හදවත නතර කොට
හුස්ම පොද
නැවතුණා....
ආදරෙන් මදෙස බැලු
නෙතු පියන්
පියැවුණා....

හිනාවෙන ඇස්...



හිනාවෙන ඇස්
වහනවා
ඇවිලෙන ගිනි

අර පේන හඳටත්....



අර පේන හඳටත්
තිබිය යුතුයි
ජාතික ගීතයක්.....
පැය විසි හතරේ
ධාවනය වන...
කිසිවෙක්ට
සංස්කරණය කළ
නොහැකි...
කාටවත් අයිතියක්
පවර ගත නොහැකි...

එහෙම නොවුනොත්
හැම බිම් අඟලකම
පැහැදිලිව තියේවී
වැඩකට නැති උන්ගේ
තමාටම හිනාවෙන
ලස්සනම පින්තූර
එලොවටත් නැති....
මෙලොවටත් නැති....

ඔව් ඔහු බේබද්දෙක්.....



ඔව් ඔහු බේබද්දෙක්
හැම සතේම වනසන
ගේ දොර පවා
උගසට තියන...
කිසිත් නැති තැන
බිරිඳට තඩිබාන
දරුවන්ට රිද්දන
බැරිම විට
ගම පුරා ගොස්
හොරකම් පවා සිදු කරන.....

එහෙව් පියෙක්ගෙ
පුතා මමයි
සොරකන් නොකරන
හින්සා නොකරන
සුරාවෙන් තොර වුන....
ඇයි ඔහොම බලන්නේ....
අපරාදයක්ද
පියාගේ ගමනම
නොයන එක මම.....?

Monday, 19 October 2015

හදවතේ ගැඹුරු පත්ලෙක....




හදවතේ ගැඹුරු පත්ලෙක
ලියැවීය ප්රේම ගීතය
දෙසිත් නොහඳුනන සුසුමෙක
එක්වීය සමඟ මද නළ
නිශාවේ පෙනුනු සිහිනෙක
පැටැලීය දැවෙන හදවත
නුඹ ගැයූ මියුරු ස්වරයක
රැඳුනීය නොනිමි ශෝකය


Sunday, 18 October 2015

සිත්තරාණෙනී....



හිතයි මට
ඔහු අඳින සිතුවමට
පාට පාට විසිකරන්න
අපිළිවෙලට.....

එවිට
පින්සල විසිකරාවී
නැතිනම් පසෙක ලා පැමිණේවී
නිදි යහනට
නැතිනම්
යන්නම යාවී
සිතුවමත් අරගෙනම....

Thursday, 15 October 2015

එහෙමත් හොඳයි...



ආඩම්බරකම
තියෙද්දිම
අහක බලාගෙනම
ඒත් හොරැහින්ම
කෝ බලන්න 
මගේ දිහාව....

රළු හඬ
සුමට කර
තාලයට
හෙමිහිට
කියන්න බලන්න
මගේ නම....

එහෙමත් හොඳයි...
වෙනසකටත් එක්ක...

Wednesday, 14 October 2015

කටු ඉපල් අගිස්සක....



කටු ඉපල් අගිස්සක
පිපුණු සුවඳැති මලෙක
කැඩුණු මල් පෙති අතර
ලියූ පෙම් සිහිනයක්
කියවා කියවා හිනැහෙයි
හැඩකාර බඹරෙක්...

ලවැලි ගං තීරයෙක
පෙම් කෙලිමින් හිරුට වැතිර,
කිඹුල් කඳුළු නොහෙලන කිඹුලියක්
තියුණු නෙත් විදහා
හොරෙන් හොරෙන් බලයි
ලඟ ඇතිදැයි වැඩකාර කිඹුලෙක්...

ගලන දිය රැළි අතර
සැඩ රැළි පහර ඉවසන්
අවලස්සන ගෙඹි කුමාරයෙක්
සිතුවිලි දිගේ දුව යයි
සිඹ සිඹ හිඳී නම් මාවත්
රාජ කුමාරිකාවක්...

Tuesday, 13 October 2015

උනා දමන්න හැකිනම්...




උනා දමන්න හැකිනම්
ඔය පාට පාට ඇස් කණ්ණාඩි
හැබෑ ස්වරූපය දැකිය හැකියි 
ඔබටත්
කාගෙවත් කෝණ වල 
මං මුලා නොවී

නුඹ... මා....



ඔය දෙනෙත් තෙත පෙනී
මගේ දෙනෙත් ඇවිලේ...

ඔය ගැඹුරු හඬ ඇසී
මගේ හද පිබිදේ.....

පියාඹා යමු
අර ඈත ආකහේ..

නුඹ... 
මා....

Monday, 12 October 2015

ටයිම් කීපර් මමයි...



මල් වත්ත පාරෙන්
මැලිබන් පටු පාර දැක්කම
හැමදාම බඩ දනවා
හුරු පුරුදු රස්සාව
හාමතේ නොතියාම
මගෙ දරුන් රකිනවා

උගුර ලේ රහ හොඳට
දැනෙනවා හැමදාම
හීන වලදී පවා මම
කෑ ගහනවා තවම

මහ පාර බදු ගන්න
පිරිමි අතරේ මමත්
නොකර ඉන්නට බැරිව
විඳිනවා හැම දුකක්
නහර පුපුරා දිනෙක
මැරෙන තුරු මේ ලෙසට
කෑගසා දුව පනිමි
පසෙකලා ගෑනු කම

මැලිබන් වීදියේ
මැගිලිනා නම් දරපු
ටයිම් කීපර් මමයි
මගෙ දරුන් පණ රකින

Sunday, 11 October 2015

ඉනික්බිති....



ඉනික්බිති
සභාතොමෝ
           සතුටින් විසිර ගියහ….      

පිටකරන්නට
නොහැකි රිදුමක්
හද ගැඹුරේ මිහිදන් කරමින්
    ඔහු එනු එතැයි බැලූවෙමි…

අගුලු වැටුණු දෙපා වලට
ප්‍රාණය එක් කිරීමට
සභාවේ කිසිවෙක් නොවූ හෙයින්
හුදකලාව පසෙකට විසිකර
නැගී සිටි මම
නොපැහැදිලි චායාවක් ඔස්සේ
සිහිවිකලෙන් දිව ගියෙමි
සතර අත නෙත් හෙලීමි
යා යුතු මගක් නොවූයෙන්
     උන් තැනම නතර වූවෙමි…

ඉනික්බිති
කල හැකි දෙයක් නොවූයෙන්
සභාතොමෝ ගිය දෙසටම
අරමුණකින් තොරවම
   ගමන් කෙරුවෙමි…..




Wednesday, 7 October 2015

තාමත්....



තාමත් ඉඳ හිටෙක
තල් පත් මතට
බෙලි ගෙඩි වැටෙති...
හාවොත් නිදති....
අහස කඩන් වැටෙන බැව් කියමින්
ගස් ගල් පවා පෙරලගෙන දුවති...
පොර වැඩක් කල ලෙසට
පුරසාරම් දොඩති....

Tuesday, 6 October 2015

හිස් වුනත් පොකට් ....




හිස් වුනත් පොකට් හැම විට
මට හිතත් නුඹට පෙම් කොට
තබන්නට ජීවිතය  උකසට..

Monday, 5 October 2015

කියා කුමකටද රහස් පණිවුඩ...




තුරු ලපල් සිඹ දුවන සුළඟට
කියා කුමකටද රහස් පණිවුඩ

උලමටත් ඇතිද ?




අඳුරු රැය දෙබෑ කරමින්
උගුර ලේ රහට එනකන්
අඳුරු පෙර නිමිති කීවට
උලමටත් ඇතිද කොහෙ හරි
උලමියක් ගොඩක් දුක් දුන්

පන්හිඳ......




  මගෙ සුරත තුල
ගුලිව කදිමට
මගේ හද ගිනි
අරන් තුඩගට

ශෝ ගී
ලියන කල 
පන්හිඳ

නොරවයි
කිසිම දින

සිනාවවකට පුලුවනි....




සිනාවකට පුලුවනි
හදවතක් කීතු කරනට
අමාව කළුවරක වුව....

Friday, 2 October 2015

අප'තර තිබේ නම් ආලයක්....



අප'තර තිබේ නම් ආලයක්
කමක් නැත රහසක්ව තිබුණාට
තවකෙක් එතැයි අප'තරට
බියව

අබැටක් තරම් දෙයක්
නොමැතිකොට අපි අතර
කුමක් සඟවමු අපි
ලොවට

එබැවින් බිය නොවන්න
වපරැස් නො ඒවි ඔබ පසු පස

Thursday, 1 October 2015

ඒත් හද ගැහෙති.....




නොබලමි, කතා නොකරමි, නොසිතමි
උජාරුවෙන් සිතමි
නොදැනිම දෙකොපුලෙන් කඳුළු වැටෙති
රහසේම හඬමි
දෑස් පියැවෙනු නොමැති, සිහිනෙන්ම පෙනෙති
නොනිදාම හිදිමි
හුස්ම නැවතී වගේ හැඟීමක් දැනෙති
ඒත් හද ගැහෙති

හදවතක හීතලට.....



හදවතක හීතලට
සැඟවිච්ච ඒ මතක
ඉඳ හිටක හිරිවැටී
අවුලවයි තුන් සිතම

නුඹ ඇඳපු පෙම් සිහින
පාට ගෑ මයෙ දෙ අත
ගුලි කරන් මම තවම
සිහිසුන්ව තුන්යමම

ගන අඳුර කැටි ගැසී
තරු පවා සැඟවෙතී
මං මුලා වනු නොහී
         හුදකලාවෙම වෙලී          






සිටිය යුතුමයි......





දුක පිරුණු හදකට
පිසදමන්නට දුක
සිටිය යුතුමයි
දුක් දැරිය හැකි හදක්

කඳුලු වැගිරෙන නෙතකට
පිසලන්ට කඳුළැල්
තිබිය යුතුමය
කඳුළ අඳුනන නෙතක්

ආදරය අවැසි හදකට
සෙනෙහසින් ළං වන්නට
සිටිය යුතුමය
මෘදු හදක් ඇති අයෙක්