Total Pageviews

Sunday, 23 August 2015

මතක ගෙන මම හිනැහෙමී

තෙරක් නැති මගෙ සිතුවිලී
නිතර නුඹ ගැන විමසතී
හදවතේ ගැඹුරේම මම නුඹ
තබා හිඳිනෙමි තනි නැතී

යළිදු නුඹ එනු ඇති සිතී
පැතුම් මල් තුරුලට ගමී
නුඹේ පියවර මැකී ගොස් යළි
අඳුර පමණක් වැළඳිමී

නො එන තැන නුඹ සඳවතී
හඬයි හදවත නොනැවතී
පාළු වෙරළේ හුදකලාවෙම
මතක ගෙන මම හිනැහෙමී



 Displaying 20150823_182544.jpg

Friday, 21 August 2015

සුපෙම්වත.....





සුපෙම්වත
මම තරහ නැත
නුඹ නොමැති කොට
මට පෙනෙන දුර

හඳුන්පත
නුඹෙ වගේ නොව
කෑ ගසන කළ
බෝ දුකයි මට

ගිලන් සිත
නුඹ දකින ලෙද
ඇස් කඳුළු ගෙන
පෙර මගම වෙත


Thursday, 20 August 2015

නුඹට හිතුනොත්.....




අතු අග පිපෙන හැම මලකටම වාගේ
පුංචි බිම්මලකටත් හිතුනොත්
දවා අළු කරන්නට වාගේ
ඇහිපිය නොගසා
තමා දෙස බලා හිඳින
ඉරට ආදරය කරන්න.........

වැලි අස්සේ හැංගිලා ඉඳන්
උඹත් නටාපිය මමත් නටන්නම් කියද්දි
මනමාල හිනාවකුත් අරන්
හොරෙන් හොරෙන් එබිල බලන
බිංකුණ්ඩෙකුට හිතුනොත්
පුංචි මලකට හාදුවක් තවරන්න.......

සුන්දරම මතක එක්ක
පාට පාට සිහින ලෝකයක්ම තනා
ලන්වන්නට හදනකොටම
මිරිඟුවක් වගේ ඉගිලිලා යන
නුඹට හිතුනොත්
නුඹට ලුහුබඳින මාව නවතන්න.......


Thursday, 13 August 2015

ඇසුනා ඒ සිනා සද්දේ....




කාලෙකට පස්සේ
ඇසුනා ඒ සිනා සද්දේ
ආදරේ පිරීතිරෙමින්
රාව දෙයි මහද පත්ලේ


මා මිය ගොස්....



මා මිය ගොස්
සරු කළ පොළොව මත
නුඹ තනයි
උජාරුවට
මල් පැළ

Wednesday, 12 August 2015

මාවතේ අඬහැරය....



ගත දැවටූ
ගතට දරාගත නොහැකිව
ඇද වැටෙන්නට ළංවූ
ලොකු චීත්ත ගවුමේ....
පුංචි මල් පමනි දුටුවේ....

සිංහල ද දෙමළ ද මුස්ලිම් ද
ජාතියක් නැත පෙනුනේ....
අවුවටම පිච්චුනු
පිටටම බඩත් ඇළුණු
ඇටකටුම පමනක්ය තිබුණේ....

මාවතේ වෙසෙන්නෙද
සිඟමන් යදින්නෙද
හුරුබුහුටි පුංචි මුහුණේ
නැතේ ලියැවී තිබුණේ....

එනමුදු ඇය යදියි....
සිඟමන් නොව
රැකගන්නට
බඩ වියත නොව
මිළින වන්නට අර අදින
ජීවිතය.....

මං මුළාව දුවයන
මනුෂ්‍යත්වය...

කාටවත් නොපෙනෙන
ආශ්චර්යය.....



Tuesday, 11 August 2015

සැඟව යනු කිම කුමරිඳු



සිහින එක් කර විසිරුණු
කළේ කිමදැයි පැදකුණු
පැතුම් ගෙනැවිත් පිබිදුණු
කළේ සිත මත සලකුණු

මලක වසමින් බඹරිඳු
දෙපස කරමින් පිණිබිඳු
තලා මල්පෙති සුසිනිඳු
බොත්ද කිසිදින පැණිබිඳු

ලොවට වූවත් පරසිදු
තැවෙනු කුමටද සකිසඳු
වේවිනම් පෙම පිරිසිදු
සැඟව යනු කිම කුමරිඳු


Monday, 10 August 2015

නැතත් ඇකයේ වින්ද සෙනෙහස මතකයේ..



නැතත් ඇකයේ වින්ද සෙනෙහස මතකයේ....
නුඹව පෙනුනා දෙනෙත් පියෙනා සිහිනයේ.....
කඳුළු ගිලිහී බොඳවෙනා කල මා නෙතේ.....
රිදුම් දුන්නා ගැඹුරු තැන මයෙ හදවතේ.....

ඩැෆඩිල්.....

           
                   
හුදකලා වූ වළාවක් සේ
පාවී ගියෙමි කඳු මිටියාවත් ඔස්සේ
එක්ව සිටිනා පිරිවරැක් වැ
දුටිමි බොහෝ රන්වන් ඩැෆඩිල්
විල් ඉවුරු තෙර තුරු වදුල් යට
මද සුළඟට එක් වැ නටමින්......

තුරු වැල් සේ සිනා සෙමින්
ක්ෂීර සයුර සේ දිලෙමින්
නිමා නොවන ඉරක් ලෙසින්
විල් තෙර අද්දරට වෙලා
දහස් ගනන් බැල්ම හෙලා
නටනු දුටිමි කඩිසර ලෙද          
සොලවලා ඔවුනගෙ හිස්.....

විල් දිය රැළි කැළඹීලා
නැටුවා පරදන්ට එමල්
ඩැෆඩිල් මල් උදම් සිතින්
පරදනවා දිය රැළ්
එවන් සොදුරු දසුන් දකින
කවියෙකු හට සිටිනු හැකිද
බැලුවෙමි මම යලි බැලුවෙමි
කුමන තුටක් ලද්දෙද මම.....



වැතිරුණු කල මා යහනත
හිත හිස් කර දුක කළ
ඩැෆඩිල් මල් සිනාසෙමින්
එබෙනා සඳ මා නෙත් මත
පළවා හැර මයෙ තනිකම
පුරවා හද ගැඹ සතුටින
නැටුවා ඩැෆඩිල් සමගින.......

(William Wordsworth ගේ The Daffodils හි පරිවර්තනයකි.)


දෙහදක් ආදරෙන්

දෙහදක් ආදරෙන්
කතාකරයි දෙඇසින්
දෙනෝ දහක් අතරෙත්
වැට කඩොළු අතරින්
එක් නොවන බව සිතමින්.....

ගන්ගාවක් ගලයි
අකීකරු දිය අරන්
කඳු හෙල් මතින්
ගන් ඉවුරු දෙපස කර
කිසිදාක එක් නොකරමින්.....

කඳෝ පැණියෙක් දුවයි
හඳේ එළියට බනිමින්
අඳුරුම තැන් සොයමින්
ගොදුරක් දැන් ඇතැයි
දත් මිටි කමින්.......

මම ඉතින් මඟ බලයි
නුඹ කොහෙන් හෝ එතැයි
හීන සීරුවට අහුලමින්
එනමුදු නුඹ දුවයි
ළන්වන්නට ඉඩක් නොදෙමින්.......




ආදරය කියන්නේ......



ආදරය කියන්නේ
මොන තරම් රිදුමක්ද
ආදරය කළ හදක්
වේදනා විතරක්ම දෙන කොට......

වේදනාවක් කියන්නේ
මොන තරම් මිහිරක්ද
දුරින් ඉඳගෙන වුනත්
ආදරය විතරක්ම දෙන කොට.....

ජීවිතේ කියන්නේ
මොන තරම් පිස්සුවක්ද
මට නුඹ නුඹට මම

විතරක්ම අහිමි වී යන කොට.....

දහස් ගැවසෙන පාර දෙපසේ......




දහස් ගැවසෙන 
පාර දෙපසේ
දකිනු රිසියෙන් 
එක රුවක්......
හැරී බැලුවෙමි
සිය වරක්......

සිහින මල් 
සුපිපෙනා යාමේ
තුරුළු වන්නට
එක වරක්.....
සිහින මැවුවෙමි
සිය වරක්.....

හද පෙළන පෙම්
මතක විසිකර
සිනහ වන්නට 
එක වරක්.....
සටන් කෙරුවෙමි
සිය වරක්.....



වැස්ස.....





වැස්ස
නුඹ
නොරිදෙන්න
වහින්න...

නුඹයි පෙම් කවියක් උනේ......





සිනාසෙන්නට කඳුළු පිසඳා
නුඹයි හද සිසිලක් උනේ.......

සොයා ගන්නට අහිමි විජිතය
නුඹයි මට සවියක් උනේ......

කියාගන්නට සිතැඟි සෙනෙහස
නුඹයි අද මට ලන් උනේ......

හුස්ම ගන්නට ජීවයක් ලැබ 
නුඹයි පෙම් කවියක් උනේ......

කුරුල්ලනේ....





කුරුල්ලනේ....

නුඹලාට වාගේ
පියාඹා යන්නට
මටත් හැකිනම්...
පියාඹා යමි,
මඩ වගුරු,
කඳු මුඳුන්,
කටු පඳුරු,
මහා වන පිස.....
මහද ගැඹුරේ
පොදියකට ගුලි කළ
කාටවත් හැඟේ යැයි
සඟවා තබාගත්
ආදරය...
නොවලහා පවසන්නට
ඔහුට....