Total Pageviews

Thursday 24 November 2016

විඩාපත් තුරු වදුළු අතරට....


විඩාපත් තුරු වදුළු අතරට
හිනාවක් නුඹ අරන් එනකොට
මළානික වූ වේශ අතහැර
සිප ගනී වියරුවෙන් බිඳ බිඳ….

වෙලාවක් නැති බැවින් අහසට
වළාවක් රඳවන්න සදහට
ආවොතින් කමක් නැත ඉඳ හිට
ආදරේ බිඳක් ගෙන තුරුලට….

කලාතුරකින් වුවත් ඉකිබිඳ
ප්රේමයක් ඇති බැවින්  කීමට
හිස් නොකර මේ අපේ ජීවිත
හැකි විටක නුඹ එන්න හිතවත…



සඳ...


මළවුන්ගෙ අතර නොව සඳ
හිඳින්නෙම නුඹේ හිත අග
ඇපැහැ-දිලි වුවත් ඉඳ හිට
හැර දමා යනු කෙලෙස හද

පුරවාන කඳුළු ඇස අස
හිඳින්නට නොහැකි බව දැන
නොපෙනෙන්න නුඹට කිසි දින
මුවා වී  එයි කඳුළු පිස

රිදුනාට හිතට පෙර පෙම
හැකිවේද හැර යන්න සඳ
පැතුවාට සඳෙන් තොර ඉර
නෑ නේද සඳේ රැස් සැර


දකින්නට නැති උනත්...


දකින්නට නැති උනත්
මොහොතකටවත් දෙනෙත
සිනාවක් ඇති නිතර
මවාගෙන මුදු දෙතොල
සිහිනයක සිරවෙලා
සිටි නමුත් වී නතර
හුදකලාවම දරුණු
බව පසක් විය නිතර..

සෘතු....


සෘතු කවදත්
ඇවිත් යයි මාරුවෙන් මාරුවට
හදවතේ නොමැකෙන්න
මතක සළකුණු කර...

රිදවීම් විඳවීම් සසලවීම් හැරුනම
මෙන්න මේ යැයි නම් කළැකි බැඳීම්
මදින් මද හෝ ලෙහා දැමිය යුතුමයි
සෘතු විපර්යාශ ඒ තරමටම නපුරුයි...

Friday 12 August 2016

හිස්ම හිස් අහසකි....




වළාවක් වත් නොමැති
හිස්ම හිස් අහසකි
තනි නොතනියට
කුරුල්ලෙකුවත් සිටීදැයි සොයන

පියාඹා යමි.....



පියාඹා යමි
සිඳින්නට පෙර
පියාපත්

අලුගෝසුවෝ.....

අකීකරු ඇස්...



නොකියන දහක් දේවල්
කියවගන්නට ඉඩ හැර
ගිනිකණ වැටී නිසලව
අකීකරු ඇස්...

නුඹ ඇවිත් ගිය පසු....



නුඹ ඇවිත් ගිය පසු
හදවත ගිනි කන්දක්
පැසවමින් කැලතෙමින්
තවමත් එදා මෙන්...

ආදරේ එහෙමයි......



ආදරේ එහෙමයි......
කාලෙකින් දුටුවාම 
ගැස්සෙනවා හදවත....
ඇස් උනත් කතා කරන
නවතිනවා මදකට...

ඉතින් කොහොමද කියන්නේ
වෙනස්ම වෙනස් කියල මම....

ආදරේ එහෙමයි... "මේනු.."
ආදරේට එහෙම කිවුවම
ගැස්සෙනව තවමත් ඔබ....
අහක බලන් උන්නාම මම
කඳුළු වලට කෝ කොහිද ඉඩ...

ඉතින් නුඹ කියන්නෙම
ආදරේ නැති බවද මම....

පැටලුනත් නෑ වාගෙ දිව
පරදින්නෙ නෑ තවත් මම.....
ගොත ගොතා හැකිතරම් තව
කියන්නෙම නැති බවයි පෙම.....

හිනැහිලා නුඹ කියන විට
"ආදරේ තවම නුඹ මට"
නෑ කියා කිඋවාට මම
මගේ මුළු හිතම නුඹේ ලඟ....

රැවැටියැකියි....




මල් වුනත්
රැවැටියැකියි
වැඩුණු පැණි කුරුල්ලන් යැයි
පුංචි පැටවුන්ට

Wednesday 13 July 2016

නො එන්නයි නොකියමි....




නො එන්නයි නොකියමි
විවිධ වෙස් අරන් සුළඟට
කිසිවක් ඉතිරිව නැති බැවින්
නුඹ ඇවිත් ගිය පසු......

මේ වැව් දිය ...



මේ වැව් දිය රැළිති නැගූ 
දිගම දිග පෙම් කතා
අසා සිටියානම්
ඒ ඔබයි මමයි 
පමණයි.....

නුඹ....




නුඹ
සියල්ල අභිබවා යා හැකි
අහම්බයක්
සිහිනය හා සැබෑව'තර
විකෘතිය කණ්ඩනය කළ....

Thursday 7 July 2016

නුඹත් පෙම්වත් කුමරෙක්...



නුඹත් පෙම්වත් කුමරෙක්
වල ගැසුණු කම්මුල් 
පමණක් බලා සැනැසියැකි….
සිප ගන්නම හිතුනත් 
සිහිනයක්ම පමණක් විය හැකි….

නුඹත් පෙම්වත් කුමරෙක්
දෑසින් හදවතක් දැවියැකි
බලා දුර ඉඳ සැනැසියැකි….

ඉකියකින් හුස්ම සිරකල හැකි
සිනාවක් දෙතොල රැඳවියැකි…..

නුඹත් පෙම්වත් කුමරෙක්
මගේ නොවුනත් 
මගේ යැයි සිත රැවැටියැකි….

Friday 1 July 2016

නින්දත් නොනින්දත් අතරේ....



නින්දත් නොනින්දත් අතරේ
හැමදාමත් පේන හීන පොකුරේ
තවමත් නුඹ ඇවිත් යනකොට
රිදෙනවා තැනක් හද පතුලේ.....


නොපෙනෙන්න කාටවත් මිතුරේ
රුවාගෙන වේදනාවන් ගැඹුරේ
හිනාවෙනව හැමදාමත් මම 
රුවැඳුනත් හැබැහින්ම දෙනෙතේ....


හිතාගන්නවත් හැඟුමක් නේන අතරේ
හිනාවෙන්නෙ මම කඳුළු සඟවාන දෙනෙතේ
නාදුනන අය ලෙසින් වුව අප
වෙන්වෙලා යමු අහිතක් නොහිතාම සඹඳේ….

Friday 24 June 2016

අතුරුදන්ව ඇත......




සැඩ සුළඟක්ව හමා විත්
එලෙසින්ම නික්ම ගිය
මද පවනක්ව යලිත් විත්
එලෙසින්ම නික්ම ගිය
නුඹ 
නුඹටම
අතුරුදන්ව ඇත......

නුඹ ඇවිත්.......



ජීවිතයත් මරණයත්
අතර වූ අහඹු මොහොතක
හඬවගෙන,හඬාගෙන

නුඹ ඇවිත්.......

සඹඳ, ......



සඹඳ, "ඉකුත් වූ" කාලයට
නැවත කල හැක්කක් නොමැත

"මේ" ආලෝකයයි
හැඬිය හැකි දෙඩිය හැකි
සිනහ මල් පීදවිය හැකි

අඳුරු රාත්‍රියක් පමණයි
"හෙට"එලඹීමට නියමිතව ඇති

සිනාවක් යනු ....




සිනාවක් යනු ඉනාවක්..
සුන් වෙලා යන තුරාවක්...


අහන්න ඕනෙම උනත්.....




අහන්න ඕනෙම උනත්
ඔය හිනා හඬ
හෙමිහිට හමා යන...
දරදඬු වැඩි නැද්ද මේ තරමට
අඹරවන් යනකොට මාව
සුපෙම්බර පවන් රොද.....

මම නුඹට ප්‍රේම කරමි....




තාරුණ්‍ය දෝතින්ම ගෙන
පණ පොවද්දි සිතුවිලි වලට නුඹ
රාත්‍රිය,මම නුඹට ප්‍රේම කරමි

මේ අපේ අහස......




නොසොයා දිග පළල 
මොහොතකට තටුවල
ඉගිළ යමු සොඳුර
මේ අපේ අහස

කඳුළු කැටිකර ....



කඳුළු කැටිකර මනාවන්
දෑස් දල්වා බලා වුන්
මාවතත් මිරිඟුවක් නම්
තවත් කුමකට බලා ඉන්නෙද
මේක නම් මහ මුලාවක්....

සිනහවක වේදනාවක්
සඟවගෙන ඇය කතාවක්
බෙදා හරි හැටි බැලූ විට මිස
හඳුන ගන්නට කාට හැකි වෙද
මේක නම් මහ මුලාවක්....

"ආදරේ" නම් ඉනාවක්
කඩා බිඳිමින් තුලාවක්
අසමබර කොට ජීවිතය ඇගෙ
නගන කිරිකැටි හිනාවක්
මුලාවක් බව නොදැන ලතැවෙන
මේක නම් මහ මුලාවක්.....

අදින් පසු.....




අදින් පසු
නොලියමි නුඹට කිසි දින
හදවතේ පිරී පැවතුන ප්‍රේමය...
දිය කර හරිමි
හිතුමතේ වා ගැඹට
නුඹ නිසා දැනුණු ශෝකය....
පද වැලක්ව,කවි,කතාවක්ව
විසි කරන්නෙමි දැන ගනු පිණිසම
මියැදෙන්ට කලින් හදවත
පිපිරී දරා ගනු නොහැකිව....

මේ රවුම ඇතුලේම.....


මේ රවුම ඇතුලේම
කොටුවෙලා ඔබ ඉන්න
මෙයින් එපිටට වෙලා
මට ඉන්න ඉඩ දෙන්න....

එසේ නැතිනම් එන්න
කාටවත් නොදැනෙන්න....

රවුම් හැඩ කිසිත් නැති
කාටවත් වගක් නැති
මෙන්න මේ සීමාවේ
ඇවිදින්න හැන්දෑවේ....

මට ඕනි.....




මට ඕනි රෑ එළිවෙනකන්ම
මෙහෙම ඇස් ඇරන් ඉන්න
ආදරේ නැතත් ආදරෙන්....

තාමත් සුවඳයි .....




තාමත් සුවඳයි 
පරවුනත් රෝස මල් .....
රෝස මතක එක්ක 
තනිකරල මියැඳුනත්.....

හඬන්නට ...




හඬන්නට දුක නිවෙන්නට
ඔය උරහිසේ හිස තබන්නට
නුඹ හැර කෙනෙක් හිත හදන්නට
කිසිවෙක් නොමැත තව ඉන්නට

Wednesday 4 May 2016

ඒ මතක ....




ඒ මතක 
කොහොම මරන්නද
සියොලඟම හිරි වට්ටන
එපා එපා එපාම කිවුවට

යන්න යමි.....




යන්න යමි
කිසිදාක යලි නො එන්නට
මතක මන්දිර සිඳ බිඳ
මහද තුළ දළුලමින් වැඩි

නින්ද නුඹ...



අහලකටවත් නො එන්නේ යැයි
සපත කරමින් 
වද දෙන්නෙ ඇයි මෙතරම්ම හදවතට

නින්ද නුඹ...

අවැසිමද.....




අවැසිමද කාල පරාසයක්
මේ යැයි නිශ්චිතවම නම් කල
හදවතක පිරී ඉතිරෙන
ප්‍රේමයක් කියා පෑමට

සුදු මැණිකේ....



පුපුරු ගැසුණු දෙ අත සෙමෙන්
අතගාමින් මෘදු දෙ අතින්
තදින් හුස්ම ගත්තේ උඹ
මගෙ හදවත පුච්චන්නද
වැටෙන කඳුළු හන්ගන්නද
සුදු මැණිකේ....

කළුවර අවුදින් වටවුණු
පොල් ඇතු ගෙබිමේ ඉඳගෙන
කුප්පි ලාම්පුවෙ එළියෙන්
වටකරගෙන පොඩි උන් ටික
සුරන්ගනා කතා ගොතයි
සුදු මැණිකේ……

ලාම්පු එළියට දිළිසෙන
කඳුළු පිරුණු දෑස් නුඹේ
නොපෙනුන ගානට හිටියට
ඔයිට වැඩිය කඳුළු හලන
මගෙ හදවත හන්ගාගෙන
හිනාවෙන්ට හදන්නෙ මම 
සුදු මැණිකේ.....

නොපෙනුනොත් නුඹ.....



නොපෙනුනොත් නුඹ
එකමෙක දවසකට හරි
කියා ගන්න බැරි තැනක් හදවතේ
නොනැවතී රිදුම් දෙනවා....

සිය දහස් වර හැරී
දැන් එතැයි නුඹ එතැයි
මට මමම රවටගෙන
නොසෙල්වී මග බලා ඉන්නවා....

හදවතට තට්ටු කල
නුඹ ගැයූ ඒ සරය
නිම් නාද දී නිතර
මග බලන්නට සවිය දෙනවා...

කොයි වෙලේ කොහොම හරි
එන්න ඉඩ තියා මම
හැමදාම මෙහෙම මග බලනවා...
රිදුම් දෙන්නට නොහී
මතක අමුනාන මම
නුඹ නමින් හිනැහෙමින් ඉන්නවා...

වැස්සත්....





වැස්සත් ගින්නක්
ඕනෑම වෙලාවක
හදවත් දැල්විය හැකි

හදවත....




නුඹට බෝ කවි ලියූ පසුවත්
ලියූ දෑ නුඹ කියූ පසුවත්
හදවත දවනවැනි හැඟුමක්
නුඹට නො එන්නේ නම්
හිතවත ඔය හදවත ගලක්...

නෙත්හි හී සර එවූ පසුවත්
ආදරේ යැයි හඬගා කියූ පසුවත්
පෙම් සිනා නුඹ වෙත එවද්දිත්
උණු නොවන්නේ නම්
හිතවත ඔය හදවත ගලක්....

කඳුළු ගංගා ගැලූ පසුවත්
හිත රිදී හති වැටුණු පසුවත්
එපාමැයි දුර දුවද්දී නුඹ
ඒත් පසුපස හඹා ඒ නම්
හිතවත මගෙ හදවත ගලක්....

නුඹේ හදවත ගලින් කරවූ මලක්......

Sunday 20 March 2016

දන්නැතිවැති තවමත්......



හඳ ඇවිත් පාට කරන
මේ කළු පාට ඝණ කළුවර
කළුම කළු පාට බව
කළුම කළු පාට බව
හඳවත් දන්නැතිවැති තවමත්......

වරා මලකට වුව
නිදහසේ පාව යන්නට
හමාගෙන එන මේ මද සුළඟත්
කාගෙවත් යටතක ඉන්න බව
වරා මලවත් දනැතිවැති තවමත්......

ගලාගෙන යන දිය දහරක්
සියල් බාධක දිනා නිදහසේ ගැලුවත්
මහ මුහුදට වැටුනු පසු
මිරිදිය කරදිය නම් වන බවවත්
දියදහර දන්නැතිවැති තවමත්......

මඟ බලා ඉඳීමමත්...




මඟ බලා ඉඳීමමත්
උපේක්ෂාව පුරුදු කිරීමක්....
ඒ වෙලාවට දැනෙන හුදකලාවත්
අමුතුම කලාවක්.....
සොඳුරුම අතීත සැමරුම් වගේම
අමිහිරිම මතකත් 
එක එක ගලාගෙන එන....
සිනහව සේම කඳුලත්
එක දිගට වෙන වෙනම රැගෙන එන.....

Saturday 19 March 2016

අර හඳ ....




අර හඳ 
අරන් එන්නෙම 
අපි එකට එකතු කල 
මතක....


නිතර නුඹ ගැවැසියැකි තැන්වල...




නිතර නුඹ ගැවැසියැකි තැන්වල
අහම්බෙන් හෝ දැකියැකි වෙතැයි
නිතරෝම විමසිලිවත්ව 
මට හොරෙන් මගෙ හිත......

දවසක් වුනත්..




දවසක් වුනත්
කොතරම් නම් දිගු ද
ඇස්මානයෙන් නුඹ
දුරෙක ඇදුනු විට...

රොබරෝසියා..




වැට අයිනට වෙලා
හිනැහෙන එකමයි වැඩේ
රොබරෝසියා


ස්වාමීනි ...



ස්වාමීනි 
මම කැමැත්තෙන් කැප වෙමි
නියම කරන ඕනෑම දණ්ඩයකට
ප්‍රේමය නම්, 
මා විසින් කරන ලද
සාපරාදීම වරදට

"ඇසළ"




අල්ලගන්නට බැරිව
අතේ දුරින් පිපෙද්දි නුඹ
අහක බලන් යන්නේ කොහොමද මම
ඇසළට කළින් හිනාවෙනකොට "ඇසළ"

ඒ මතක කොහොම...




ඒ මතක කොහොම මරන්නද

සියොලඟම හිරි වට්ටන
එපා එපා එපාම කිවුවට

යන්න යමි




යන්න යමි
කිසිදාක යලි නො එන්නට
මතක මන්දිර සිඳ බිඳ
මහද තුළ දළුලමින් වැඩි

නින්ද නුඹ...



අහලකටවත් නො එන්නේ යැයි
සපත කරමින් 
වද දෙන්නෙ ඇයි මෙතරම්ම හදවතට


නින්ද නුඹ...

Sunday 14 February 2016

ජාතිකාභිමානය




ඒ ගසේ බොහෝ
පැණි දොඩන් තිබේ

පැහිල ඉදිල බිමට නැවිල
බර වෙලා අතූ
මටයි මටයි මටයි
ගෙඩි තුනක් මදී
ගොඩගහගෙන තනියම කන
හොඳ ළමයි අපී....

නොසිතු මොහොතක



හෘදයාබාදෙකින්
නොසිතු මොහොතක මියෙදෙනා වැනි
සමහර සමුගැනීම් 
නැතුවාම නොවෙයි මිතුර...

අවැසි වූවත් සමුගන්න

සිපාචාර මැද උණුසුම්ව
හරස් වෙන්නෙම කාලය බව
නොසිතුනාම නොවෙයි මිතුර....


මලත් ඉතිං හෙට...



මලත් ඉතිං හෙට
කමක් නැතිය මට
මුළු හිතක් පුරාවට
මල් පිපුණි හිනාවට


නැතත් ලතෙත් සුමුදු බසක්
පිපෙත් නිතිත් සිනහ මලක්
සිතෙත් මැවෙත් සෙනෙහෙ විලක්
මසිත් මතුත් නුඹට මිසක්

Tuesday 2 February 2016

ගින්දරක් ඇවිලෙද්දි...



ගින්දරක් ඇවිලෙද්දි හදවතේ
ආදරෙත් පැට්‍රෝල් තණකොළ වගේ
බුර බුරා
බුර බුරා
බුර බුරා
ඇවිලෙම එකමයි වැඩේ

හිතවත....




හිතවත
මේ නිහඬ බව රිදුමක්
හදවත දව දවා
ටික ටික මරා දැමිය හැකි

පර මල්....



පර මල් බිමට හැළුවම
ඕනම ගහකට දැනෙනවැති 
සැහැල්ලුවක්

Monday 25 January 2016

නුඹ නාඩන් අරුන්දතී



නුඹ නාඩන් අරුන්දතී
අපි ඇඬුවට දුක ආවට
හිත සනසන
කෙනෙක් නැතත්
වැරදෙනකොට
හිනා වෙන්ට
බොහෝ සිටී
ලොව පුරාම

උන්ට බැරිද
හිනානොවී
වැරෙදෙන තැන් හදා දෙන්ට
කඳුළු අරන් හිනා වෙන්ට
අපිට ටිකක් උදවු වෙන්ට

අපි වැරදියි අරුන්දතී
උන්ට ඕනි අපේ දුකම
හිනාවකට අරන් යන්ට
                                                               උඹයි මායි පාගගෙන                                                                
උන්ට ඕන ගමන යන්ට

දවසක් අපටත් එයි නොවැ
හිනාවෙන්ට කඳුළු පිහන්
උඹ හිටපන් හිත ගල්කර
අහිතක් නොහිතා උන් ගැන            






Monday 18 January 2016

නුඹ මගේ සඳපාන



නිල් නුවන් යුග සිනහ කැන්ඳන
සිනා සරි මුව සෙනෙහෙ රන්ඳන
හෙලන බැල්මේ දෙසිත් බන්ඳන
නුඹ මගේ සඳපාන නන්දන

ගලන ගඟුලක රාව නංවන
සරසනා බිඟු රැඟුම නෙළුමෙක
ලඟින් ඉඳ තනි නොතනියේ
වඩිනු රිසි වෙද මගේ සකිසඳ

සිහිනයේ මායාව නිරුවත
කඳුළ රඳවනු කෙලෙස දෙනයන
ලැග හදේ සෙනෙහස අරා
ඉසිඹුලන්නට හැකිද මා හැර

Tuesday 12 January 2016

සුන්දරද කෙතරම්....


කොට්ට පුලුන් ගස් වල 
මල් පිපෙන කාලෙ ආවම
දුවන් යන්නෙම හිත 
‘ඩී හතර’ පුංචි ඇල ගාවට......

පැල ගොයම හිනැහෙන කාලෙට
මුරයට වතුර දෙන්නට විදානේ ඇළ ඇරියම
මහ ඇළ ළඟ බෝක්කු කට ළඟ
එතුවක් රැඳී වුන් කොට්ට මල්
පෝලිමට ඇදෙනවා පුංච් ඇළ දිගටම.....

ඇළ ගාව රැකගෙන ඉඳගෙන
මල් ඇහිඳින එකයි අපේ සෙල්ලම
වැඩියෙන්ම මල් එකතු කෙරුවම
සතුටයි දැනුනෙ පිරී ඉතිරුන......

පුංචිම දෙයක් ඇති එකල සතුටට
ඇඬුවට අහිමි දේවලට අද අප
එනවනම් ආයෙමත් ඒ කාලෙ සුමිතුර 
සුන්දරද කෙතරම් ජීවිතය හැමටම.....


Wednesday 6 January 2016

වහිනවනම් .....



වහිනවනම් වැස්සක්
සේදිලා යා යුත්තේ
වේදනාවයි හිත්වල...
කඳුළුයි ඇස්වල...


Tuesday 5 January 2016

නුඹෙ අකුරු ඇහින්දම...



ඇහි පියන් රිදෙන්නම
නුඹෙ අකුරු ඇහින්දම
මගේ හිත පිරෙන්නම
දැනෙන්නෙම නුඹේ පෙම