Total Pageviews

Monday, 30 November 2015

පිරිමැදිය යුත්තේ හදවතක් ....




රිදුම් දෙන මතක 
ගිගුම් දෙන කළ
හදවතක් තුල
පිරිමැදිය යුත්තේ
කිමිදිලා මිස
මතුපිටින් නොව
තවත් හදවතක්

හදවතක් කියවන්නට පෙර.....



හිනාවක්
හීනියට
තීරු කළ යුතුයි
වෙන් වෙන්ව.....

දුක මුසු....
සැප මුසු.....
උපේක්ෂාව මුසු....
උපහසය මුසු.....

කියවන්නට පෙර
හදවතක්
ගැඹුරෙහි ඇති....

හමුවීම...



වෙන්වීමකයි
පැහැදිලිව ලියැවී තිබුණේ
අපේ සුන්දර හමුවීම...

Friday, 20 November 2015

මට මහමෙරක් වැනි......



අඳුරුම වලාවක
හැපීමෙන් පැන නගින
විජ්ජුලතාවක
ජීවයක් ඇත....

උසම කඳු මුදුනක
හිතුමතේ නලියන
ගිනිකන්දක
කලාවක් ඇත....

කිකලවත් හිනාවක් නැති
ආඩම්බර නුඹේ
දරුණු බැල්මක
දයාවක් ඇත...


මට මහමෙරක් වැනි...... 
නුඹට ගණනක් නැති.....



Thursday, 19 November 2015

නුඹ ළඟම ඉන්නවා .....



පල රුකට ගල් මුගුරු
අඩු නැතිව වදිනවා
නිසල දිය ගැඹුරු බව
නුඹ කියා දී තිබෙනවා

හඬන කළ කඳුළුවල
අගය අඩු බව කියනවා
                      සෙනෙහෙ ළඟ සියලු දුක                      
දියව යන බව දැනෙනවා

ආදරේ සිහිනයක්
නොවන බව දන්නවා
සසර ඉම තෙක්ම මම
නුඹ ළඟම  ඉන්නවා 

ආදරයක් කියවගත හැකියි .......



පාට පාටින් ලියන්න ඕනි නෑ
ලස්සනටම ඕනිත් නෑ
උදෘත ළකුණු ඕනිත් නෑ
වරහනුත් එපා
ලොකුවට ලියන්නත් එපා
අපැහැදිලිවට 
පුංචියට ලිව්වත්
ආදරයක් කියවගත හැකියි 
හිතේ හැටියට
මොනවා කොහොම වෙතත්


හැකියි නුඹගේ එක කවියකට.....



රන් රුවන් පරදන්ට
හැකියි නුඹගේ එක කවියකට

ඇට මිදුළු හාරගෙන
ආත්මයම අරගෙන
හදවතම හෙමිහිට අමදන්න
ආදරේ ඒ තුලට ඔබවන්ට

ජීවිතය අතැඹුලක් කොට ගෙන
සීරුවට නුවණැසම කිමිදන්ට
ළඟ නැතත් දුර ඉඳන් සනසන්ට

හැකියි නුඹගේ එක කවියකට

Wednesday, 18 November 2015

(අ )සම්මත


අපායට ගියත්
ඉස්සර වෙන්න ඕනි කිවුවට
කතාවට
ඉක්මන් කොටයි ඇත්තට...

ආවට හැඟීමක්
ආදරයක් වගේ හිතට
ආදරෙයි කිවුවෙ
නොසිතාම බොහෝ දුරට...

කාලය ගියත් හැල්මේ 
එක දිගට
බැරිවුනි වැට කඩුළු බඳිනට
හදවතට
ආලය අන්ඳ බව පෙන්වාලා
යසට
වෙළුනෙමි මමත් ප්‍රේමෙන්
රහසෙම ලොවට...

Monday, 16 November 2015

නැවැත්විය හැකිද....?



මල් පිපෙන කොට
නැවැත්විය හැකිද
බඹරාගමනය...

Thursday, 12 November 2015

ආදර කවියක....



ආදර කවියක
හිස් පේළි තිබීම
දුරස් වීමකටත් වඩා
අතිශය භයානකය...

Wednesday, 11 November 2015

පුදුම නිවනකි....





කිරි හිනාවකි
කිරි සුවඳ විහිදන
පුදුම නිවනකි
නුඹ ළඟම උන්නම.....

අන්තිමට .....



මම හිට ගත්තම
මේ මහ පොළොව මත,
මට වඩා අඩි දහස් ගනන් උස
බිල්ඩින් වල හිටිය මිනිස්සුත්
අන්තිමට බහිනවා
මේ මහ පොළව උඩටම...
හැන්දෑවට ගෙදර යන්න...

Tuesday, 10 November 2015

හිතනවා ඇතිද....?




වෙනස් නොවන එකම දෙය
වෙනස්වීම කියන එක
විතරක්ම අදහන අය
නිකමටවත් හිතනවා ඇතිද
වෙනස් වීමට හේතුව....

පුංචි කොළයකත්....



පුංචි කොළයකත්
සුළඟකින් බිම වැටුණු
ලිවිය හැකියි
අළුත් කතාවක්
වෙනස්ම විදියකට...

නුඹ යන්න යාවී.....



නුඹ එනතුරු
මම මග බලන් උන්නා සේ
ඉන්න වූවානම් නුඹට
නුඹ යන්න යාවී
මම බලන් උන්නු 
පැය ගානට 
ඔබ බලන් උන්නු විනාඩියත්
දෙකම සමාන කොට....

Monday, 9 November 2015

වේදනාව....




වේදනාවත් කලාවක්
විවිධ අයුරින්
රසවිඳිය හැකි...

Wednesday, 4 November 2015

වවමු මල් යායක් බඹරුන්ට විතරක්.....



බඹරුන්ට
එකාට එක ගානේ
සුවඳ වෑහෙන
මලක් දෙමු...

ඔය පිපෙන්නෙ
සුවඳැති මල්
ඕනි තරම්...

බඹරුත් ඉතින්
පුරුදු විය යුතුමයි
හැම මලක් ගානෙම 
නොයා ඉන්න...

එහෙම බැරිමනම්,
වවමු මල් යායක්
බඹරුන්ට විතරක්
සුවඳ තිබුණත් නැතත්...

Tuesday, 3 November 2015

මට පෙම්වතුන් දෙදෙනෙක් ඇත…



      මට පෙම්වතුන් දෙදෙනෙක් ඇත…
..
සෞම්ය වූ සඳ
හා
නිබඳ මා දවන
හිරුය....

හිරු මා දවන කළ
මා සනසන්න
සඳ සිටිය යුතුමය....

කෙසේ වෙතත්
                                                     ආදරය කරමි මම                                                     
ඒ දෙදෙනාටම

   සම සමව  ....

මිය ගිය පසු....



මිය ගිය පසු
කුමටද
රෝස මල්....

Monday, 2 November 2015

මිනිසුනේ නැගී සිටපියව්...



ඉඳ හිටෙක
බොහෝ අය
සොයනවා ඇති
සුමුදු පහසක්
රෑ සමනලියන්ගෙන්
හරිම සතුටින්.....

අසනවා ඇතිද
ඔවුන් ඇයගෙන්
කිමද වන්නට හේතුවක්
අකමැත්තෙන් හරි
රෑ සමනලියක්....

කියන්නට ඇති
කතා ඇයටත්
රකින්නට ඇති
දරුන් පිරිසක්...

විඳින්නට රිසි
අමන පහසක්
සිටින්නට ඇති
සැමියන් බොහොමයක්....

සාධාරණය නොතකන
තිරිසන් කමම රජයන
මෙහෙව් සමාජයක
ඇයත් රැජිණක්
දරුන් පෝෂණයට
විකුණනවා නම්
තම මසම කෑලි කර...

මිනිසුනේ...
නැගී සිටපියව්...
මේ අධම සමාජ ක්‍රමය
වෙනස් කරපියව්...
අනෙකාගේ හද ගැස්ම
අසා හිඳපියව්...
මේ සිරිලක යලිත්
ධර්මද්වීපයක් කරව්....

"විරහව...."



ඇට මස් ලේ නහර
තුලටම කා වැදී මොර දෙන
වේදනාවක්ය කාටත්
"විරහව"
හදවතින්ම ප්‍රේම කළ වුන් හට
ජීවිතයම එපා කරවන

උත්සහ කරමුද බේබද්දෙක්ගෙ හදවතක් කියවන්ට...




මධු විතක් තුරුලට ගන්න
හැම පිරියෙක්ම
තවත් ගැහැණියෙක්ගෙ
තුරුලට නොයන එක
කොච්චර දෙයක්ද..

ආසාවට බොන්නෙ කවුද ?

ඔවුන්ටත් ඇති
මතට දිය කළ යුතුම පැනයක්....
විසඳුමක් සොයා ගත නොහැකි....

සමහර විට
එවැනි හදවතක
ඇවිලෙන ගින්නකට
දවන්න පුළුවන්නෙ ලෝකයම
කවුරුත් නොසිතුවාට...

"බේබද්දා.."
ලේසියි තමයි කියවන්ට..

උත්සහ කරමුද
බේබද්දෙක්ගෙ හදවතක්
කියවන්ට...

සිනිදුවට...
රහසෙන්ම හරි...